Friday, April 17, 2020

දවසක් දා......

"චුටි මැණික, අපි දැන් යමු."
ඔයා දකුණත මට දිගු කළා. මං සතුටින් ඔයාගෙ අතේ එල්ලුනේ, මගේ අත් දෙකෙන්ම ඔය අත බදාගෙන.
     
     මද්දහනේ ඉර ගිනියම් වෙලා.ඉර රැස් නිවන්න වළාකුලක්වත් නැති නිල් අහසක්.
     
     "අවුවයි"
මං ඇස් පුංචි කරගෙන ඔයාට කිවුවා.
     "මං නම් ආස නෑ, කුඩ ඉහළගෙන යන්න.ඒත් ඔයාට අවුවෙ යන්න බෑනේ.ඔයා ඉහළ ගන්නකො"
ඔයා කිවුවා.
     "එහෙනම්, ඔයා එනකොට මට කුඩයක් ගේන්න කීවේ"
     "ඒ  වැස්සොත් කියලනේ"

   මට මතක් වුණේ ඔයාගේ කවියක්.
     "මහ වැස්සේ .... කුඩේ යට....."මං කවි පද මිමිණුවා.
    මං වරුවක් වුණත් බලා ඉන්න ආස ඔයාගේ ඒ ලස්සන හිනාව....ඔය මුණ පුරාවට ඇඳිලා.
     "ඔයාට මතකයි නේද? "
     " හුම්ම් ....ඔයාගේ හැම කවියක් වගේ ම මට මතකයි."
මං කිව්වේ පුංචි ආඩම්බරයකින්.

     ඔයාගේ කවි වලට පෙම් බැන්ඳ මං, දැන් ඔය කවි හිතටත් පෙම් කරනවා.... කවිය තමයි අපි දෙන්නවා මේ තරමට ම ළං කළේ....කවියක් නොවුණු මගේ ජීවිතයට කවියක් වෙලා ඔයා ඇවිත්.
මං මගේ හිතත් එක්ක හිනා වෙමින් හිතුවා.

     යන එන පරක් තොටක් ගැනවත් හරි වැටහීමක් නොතිබුණ මං .... ඔයාගේ අතේ එල්ළිලා ආවේ, හරියට තටු ලැබුණු කිරිල්ලියක් වගේ.
ගිනි අවුවේ මහ පාරක වුණත්, පාරාදීසයක සිරි හිතේ ඇඳිලා.

     "මං යනවා ඉක්මණ් වැඩි ද? ඔයාට අමාරු ද? " ඔයා මගෙන් අහුවා.
     ඔයා දිගු අඩි තිබ්බත්, මං ආස වුණා ඔයාගේ ගමන් වේගයට ම යන්න. මට අපහසුවක් නොදැනුනේ....හිතේ පිරිලා තිබුණ සතුටට ම වෙන්න ඇති.

     ආයෙමත් ඔයාගේ කවියක් මගේ මතකයට ආවා. ඔයා ලීවේ...ඔයත් එක්කම ආපු සඳවතිය ගැන. ඔයත් එක්ක හරි හරියට ආවත් ඒ සඳවතියට නම්, හති වැටුණේ නෑ. එයා අහසෙ ම හිටියා. එයා අයිති අහසට ම නිසා.
     ඒත් ඔයත් එක්ක පෙම් මඟකට බට මේ සඳවතියට....ඔයත් එක්ක දුරක් යන්න නොලැබුණොත්.....
     හිත අස්සෙ රිදුම් දෙන ඒ සිතුවිලි.....ඔයාගේ ආදරේ උණුහුමින් දියාරු කළා.

    "නෑ.....මට පුළුවන්..." මං හිස ටිකක් නවලා, ඔයාගේ මුණ දිහා බලලා කිව්වා.
    " මං ඉතින් ටිකක් ඉක්මණට ඇවිදිනවා. ඒක මට හුරු වෙලා. සොරි....අපි හෙමින් යමු."
    ඔයා ඔයාගේ ගමන් වේගය අඩු කළා.
    මං ඔයාගේ අතේ එල්ළීගෙන ම මගේ හිස ඔයාගේ උරහිසට බර කළා.

    "අනේ....මං ඔයගේ කණ ළඟට උසයි තමයි."
     " ඒකනේ මං කිව්වේ..." 
අපි දෙන්න ම හිනා වුණේ....අපි අපිව නොදැක ම ඇති වුණ අපේ ආදර කතාව දිග් ගැස්සුව, දුරකතන සංවාදයක් මතක් වෙලා.
     සයිබර් අවකාශයේ ගෙතුණ ආදර කවක්...පියවියෙන් ගීයක් වෙලා....අපේ හිත් තුළ ගැයෙනවා මට ඇහුණා.

    "අර ළමයි අපි දිහා බලා ඉන්නවා"
ඔයා හෙමින් කිව්වේ, පාසල නිම වෙලා බසයක් එනතුරු මඟ රැදී ඉන්න, ගැහැණු ළමයි කීපදෙනෙක් ඇස් කොනින් පෙන්නලා.
එයාලා අපි දිහා බලාගෙන, මොනවදෝ මුමුණනවා මං දැක්කා.

     "එයාලා බලන්නේ මං දිහා."
ඔයා හිනා වෙවි රහසින් මට කිවේ....මාව තරහ ගස්සන්න. මගේ බොළඳකම් ඔයා හොඳින් දන්න නිසා.
     මුණූ පොතේ ඔයාගේ පිටුවේ ඉන්න ගෑණු ළමයි නිසත් මං ඔයත් එක්ක රණ්ඩු කරනවා. ඔයා දන්න කියන ගෑණු ළමයි එක්ක මං හරි ඊරිෂිය යි කියලත් ඔයා දැනන් උන්නා.
    අපි දෙන්නගේ ඒ පුංචි පුංචි රණ්ඩු හැමවෙලේ ම අපේ ආදරේ නැවුම් කළා.

    මගේ හිත කීරි ගැහුණා. මොකද මේ ළමයින් බලන් ඉන්නේ, කතා කරන්නේ.....ඔයා විහිළුවට ගත් කාරණය නිසා නෙවෙයි කියලා, මට හොඳින් තේරුණා.

    " ඒ අයියා පව් කියලා, එයාලා හිතනවා ඇති."
මං දුකින් කෙඳිරුවා.
    ඔයාට තරහ හිතුණ බව මට දැනුණා. ඔයා මුවින් නොබැණ බස් නැවතුමට ආවා.
    මං ඔයාට මුවා වෙලා, මගේ ඇස් වලට ඉණුව කදුළු ඔයාගෙන් වහං කර ගත්තා.

    ඔව්......ඔයා පව්......මට මහ දුකක් දැනුණා.
දෙනෝ දාහක් දෙනා, යනෙන මඟක් නොවුණ නම් ...මං ඔයාගේ පපුවට හිස තියාන මහ ගොඩාක් අඬනවා, මේ තරමට ඔයාගේ හිතට ආදරෙන් ළං වුණ වරදට සමාව ඉල්ලලා.

     කකුලකුත් කොර ගගහා ඇවිදින මේ ලෙඩ කෙල්ල....ඔයාට ආදරේ වුණ එක වරදක්.මගේ හිත දුකින් ඇදුම් දුන්නා.

    "එන්න....චුටි මැණික"  ඔයා කිවේ බසයකට අත දිගු කරන ගමන්.

     "ඉක්මණ් කරන්න.....ඉක්මණ් කරන්න" කොන්දොස්තර තැන මොර දෙද්දි, ඔයා මාව හරි සීරුවට බසයට ගොඩ කළා.
     "පරිස්සමින්" ඔයා කිවා.

     ඔව්. මං දන්නවා ඔයාගේ ඔය ආදරය මාව හුඟාක් පරිස්සම් කරනවා.
     මගේ හිතේ ඇඳුන දුක් කඳුළු, ඔයාගේ ආදරේ නිසා හිනා වුණා.
      "මට සමාවෙන්න සුදු බණ්ඩියෝ" 
ඔයාට නොඇසුනාට මගේ හිත ඔයාගෙන් සමාව ඉල්ලුවා.

සාරා_____🖤 


No comments:

Post a Comment