Sunday, January 26, 2020

ඔව්.මං හොඳින්....

ඔව්.මං හොඳින්....
----------------------------------
     මුහුද දිහා බලාගෙනම මං ඔයාගෙන් අහුවා "මුහුද දැක්කම ඔයාට මොකද හිතෙන්නේ..." කියලා.
     ඔයා ඔච්චමට වගේ හිනා වෙලා කිවුවා "පනින්න හිතෙනවා" කියලා.

     මං  ඔයාගේ මුණ දිහා බැලුවා. මං ආසම ඔයාගේ ඒ ලස්සන හිනාව ඔය මුණේ ඇඳිලා තිබුණා.

     ඒත් ඔයාගේ දඟකාර වචන එක්ක......ඔය
ආදරේ දිළිහෙන ඇස් අස්සේ තියෙන දුක මට නොපෙනෙන්න ඔයා හංඟන්න හැදුවත් මං ඒක දැක්කා.මගේ හිත තරමටම ඔය හිතත් අඬන බව මං දැනණ් උන්නා.

     මේ මහ මුහුදයි අහසයි සිතිජයෙන් ළං කරලා පෙන්නුවට ළං වෙන්න බැරි තරමට මහ දුරක්.....ඔයයි මායි අතර අපේ ආදරෙත් සිතිජයක් වෙලා.

     මේ අපේ පළවෙනි හමුවීම වගේම, අන්තිම හමුවීමත් වෙන්න ඇති.

     මහ මුහුද තරමටම අඬන්න පුළුවන් කඳුළු ගොඩාක් මගෙ ඇස්වලින් එළියට පනින්න දඟලද්දි....මං ඇස් තද කරගෙන හිටියේ...ඔයා මං අඬනවට අකමැති නිස යි.

     "හැමදාමත් ඔයා හිනාවෙලා ඉන්න ඕනි" කියලා මට කීව....ඔය ආදරය පිරුණ හිත මගේ කඳුළුවලින් රිද්දන්න මං බය වුණා.

     එදා මං ඔයාගෙන් වෙන් වෙලා ආවේ....තිබුණටත් වැඩියෙන් ඔය ආදරේ හිතේ තුරුළු කරගෙන.ඔයා ළඟදි හංඟන් හිටි මගේ කඳුළු....රෑ එළිවෙනකල්ම ඉහ තිබ්බ කොට්ටෙ තෙත් කළා.

     ඔයා නොදන්නවා වුණාට....ඔයා මගේ ජීවිතේට ආපු දා ඉදලම...අදත්....මට මගේම කියලා ළං කරගන්න බැරි ඔයාගේ ඔය ආදරේ තරම හිතට දැනෙද්දි....උහුල ගන්න බැරිව මං අඬනවා.

     දුර ඈතක ඉදන් හැමදාමත් කෙටි පණිවිඩයකින් ඔයා මගෙන් අහන කොට " ඔයා හොඳින් නේද" කියලා.....මගේ ඇස් තෙමාගෙන පිරෙන කඳුළුවලින් මගේ දුරකතනයේ යතුරු පුවරුවත් බොඳවෙලා යද්දි.....පුරුද්දට වගේ මගේ ඇඟිලි ඒ අකුරු ටික හොයාගෙන යනවා.
 
     ඔව්.මං හොඳින්...🙂

සාරා_____🖤


No comments:

Post a Comment