Thursday, May 21, 2020

වැස්ස....

            වැටුණ පෙත්තක දුක දරාගෙන 
            හිනා වෙන්නට තනන කැකුළක
            ඉතිරි පෙති ටික සිදිනු සිතුමට
            තරම් නපුරක් ඇයිද ඔය හැටි....
              
            වැස්ස....,
              
            පාට ඔපකර කඳුළු පිසගෙන 
            නොරිඳ පෙති අග හෙමින් වැහැපන්
            සිනා ඇඳගෙන සුවඳ දෙන්නට
            ඉරට එන්නට ඉඩක් දීපන්....

             සාරා_____🖤 


       

Wednesday, May 13, 2020

මටත් තියෙනවා හීනයක් ....🖤


මටත් තියෙනවා හීනයක්,
තනන්නට කූඩුවක්
හරි ම පුංචියට
ඔයත් එක්කම කූඩුවෙන....

මං ආසම අහස් නිල
තවරලා බිත්තිවල,
දමා දුහුල් තිර දම් පාට
තිබ්බමයි ලස්සන
ලැවෙන්ඩර් පෝච්චියක්
කවුළු පිල උඩ, 
එපිටින් හිටවලා
ලිලැක් මල් යායක්ම....

සාලයට ඕනිනම් 
එකම එක දිග පුටුවයි
තියාගන්න පුළුවනි 
රූප පෙට්ටිය ඔයාට ඕනී අතකට,

මට ඕනී නෑ බලන්න
වැළපෙනා ටෙලි කතා,
නොතේරෙණ හරබර වට කතා
ඕනිමයි හිස තියා උකුලට, ගුලිව ඉන්නට
විකාශන නිමාවෙදි
කූද්දන තුරු හිස සිඹ....

මං ආස කුස්සියත්
තියන්නට, ඔයාගෙම හැඩයකට 
"අද මං උයන්නම් මැණික....."
කියන හැම විටක,
ඔයාගෙම පහසුවට....

අලවන්න ඕනිමයි 
ටින්කබෙල්, සින්ඩරෙල්ලා 
සුරඟන කෙල්ලො ඔක්කොම
පුංචි කාමරේ පුරාවට
ඔයා ආසම,
මං වගේම ලොකු බෝල ඇස් තියෙන
අපේ පුංචි දූ පැටියත්,
ආ දාට බලන්නට....

ඉතින්,
ඒ හිනේ හැබෑවෙ දී,
රතු කොපුල් ඉරිතලා
කඳුළු වැල් ඇදෙන වග
අමතක නොකළ යුතුමයි ඔබ,
ලිවොතින් යළි කවි
ඒ හීනි දිගු ඇස් හැරි.....

සාරා______🖤

Monday, May 4, 2020

රත්තරං....


පෙමට වෙන්වුණු

සුමුදු ආමන්ත්‍රණ

හිතා, නොකියාම 

ඇමිණුවා ගොන්නම 

එකම එක නමකට



ඔයා කෑව ද 

ඇහුවෙ නැතුවට

කනවා ඇති  දැන්

කල, වේල දැන

හිතුවා හැමවිට



ගෙවන දවසම 

නුඹට ළඟ සිත

වසන් කරගෙන 

නුඹ දුරින් හිඳ,

හිනා  වෙන කල 

නුඹෙ සිනා ළඟ



"රත්තරං"

ඒ වැරදි වදනක් 

නොහිතා කියවුණෙ

ඇඟෙව්වම නුඹ,



කතා කවුළුවේ

අකුරු බොඳකර

කඳුළු රිද්දුවෙ,

තනි හිතක පෙම

පියවියක හීනයක් කර....


සාරා_______🖤